Sunday, April 10, 2011

විකල්ප පුවත්පතක ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ හෙලිදරව්ව



රහසක් සොයාගැනුමට
මම ගියෙමි
දිනක් රජයේ කාර්යාලයකට
''අන්න අර කපුටා ඇවිත්"
ලොක්කාට ගොස් කියනු
ඇසුනි මට එහි අයෙකු
අමනාප නොවූවෙමි
''කපුටා කසළ ‍ශෝධකයෙකි"
ඇරත් වූ තනිව කිසිවක් නොබුදින නිසාවෙන්.....!

තවත් එක් දිනයක මම ගියෙමි
පොලීසියේ මහත්වරු
අපරාධ පරීක්ෂණ කරනා තැනකට
''අන්න අර වල් ඌරා ඇවිත්"
ලොක්කෙකු කියනවා ඇසුනි
ඔහු වැනිම තවත් අයෙකුට
ඔව් ඇත්ත
''මහ පොලොව බිඳ
අල මුල් සොයා ගන්නා බැවින"
කීවාට කමක් නැත මට
අමනාප නොවූයෙමි මම.....!

ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ත්‍රිපෝෂ ‍බෙදන උත්සවයක
අසුන්ගෙන සිටියෙමි මම
මගේ සඟයින් අසල
''අරයකා මළ ඇණයක්"
කවුද එන්න කීවේ ඔහුට.....!
මගේ සඟයෙකුගෙන් විමසනු
ඇසුනි මට
අමනාප නොවූයෙමි මම
''එක අරමුනක දිගුකළක්
ඇණයකට රැඳී ඉන්නට පුළුවනි"
ඇරත්
''මළබැඳී නැසෙන තුරු
ඊට සේවය කළ හැකිය....!"

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
මට ලැබුණු තොරතුරකට එහිගියෙමි මම
''අන්න අර බූරුවා ඇවිත්"
කෝපාවිශ්ඨව පෙනුමෙන් මහත්මයෙකු
කියනවා ඇසුනි මට
ඇසෙන නෑසෙන ගානට!
''බූරුවා මත තබන බර
ගමනාන්තය වනතුරු
බිම නොතබන නිසාවෙන්
අමනාප වන්නේ කුමකටද මම.."!

පළාත් සභා මන්ත්‍රි
දෙවෙනි වරටත් මුල්ගල තබන
උත්සවයක
උන්දැම උන්දැගේ කටින්
ලේකම්ට බැනවැදුනු බව දනිමි
''කව්ද අර බල්ලාට එන්න කිව්වේ ?"
අමනාප නොවූවෙමි
''මිනිසා‍ගේ විස්වාසවන්තම සත්වයා
බල්ලා නිසාවෙන්.....!"

ඇමතිගේ සම්ප්‍රාප්තිය
බලන්නට ගියෙමි මම
''අර වසංගතයත් ඇවිත්"
උතුමෝම සංවිධායකගේ කනට
කොඳුරා නොකීවෙද?
අමනාප නොවූයෙමි මම
''ඇතැම් වසංගත
තත්වයන් වෙනස් කරනා නිසාවෙන්...."!

තවත් තොරතුරු
බොහොමයක් ඇත කියන්නට
එහෙත්මට ඉඩ දෙන්න
නාද වෙනවා මගේ ජංගම දුරකථනය.....!

දයා නෙත්තසිංහ

No comments:

Post a Comment