Thursday, December 23, 2010

ලස්ස පැටියා



''රණවිරු පවුලක උපදින තුන්වැනි දරුවාට රුපියල් ලක්ෂයේ දීමනාවක් පිරිණැමේ."
-(පුවතක්)


අසඩක් වරෙන් ලස්සෙට කොඩි දමන්නට
එක දෙක නැතිව තුන්වැනියා වදන්නට
ණයවෙන ජාතියක බරපැණ ගෙවන්නට
පැටියෙකු තනාදෙමු ලස්සේ ලබන්නට

කන බොන අඳින වියදම ණයටම කරමූ
පළවෙනි දෙවෙනි පැටවුන් මහ මග හලමු
තුන්වෙනි එකාටම උප්පැන්නය ලියමූ
ලස්සේ අරං හැම මගුලෙම ණය ගෙවමූ

ඒත් කොහොම තුන්වෙනියා හදන්නේ
ඊට කළින් ‍තව දෙදෙනෙකු වදන්නේ
රෑත් ඇ‍ඳෙත් අපි දෙන්නා තැවෙන්නේ
බරපැණ මතක් වී වැඩ මග හරින්නේ

හතර අතේ පොලියට ගත් ණය කැටියා
හබලක් නැතිව ඔරු පදිනා මෙනි තොටියා
අයවැය ගෙවෙන්නට කලියෙන් කල් නොයවා
පිළිසිඳ ගනින් පිං ඇති ලස්සේ පැටියා

- සැකකාරයා -

සෙල්වම් මගේ සොහොයුර



සෙල්වම් මගේ
සොහොයුර.........!
දැන් අපි අපේ සිතියමේ
හරියටම ලකුණු කර ගනිමු
අසාධාරණය උපදින තැන
වෙනසක් නැතිව
පීඩනය
අපමතම හෙලන .........!

සෙල්වම්
මගේ සොහොයුර .........!
අයුක්තිය පැතිර ඇත්තේ
මාලිමාවට අනුව නම් නොවේ

හිමිදිරි උදෑසන සිට
මධ්‍යම රාත්‍රිය වනතුරු
සමෘද්ධිය හා
සෞභාග්‍යය පිළිබඳව
දේසනා ඇසේ අපට
එදා වාගේම අදත්..........!
ජීවිතවලට
ගව්ගනං දුර නමුත්
දේශනා ඇසේ අපට
සිව්දිසාවෙන්ම .........!

සෙල්වම් ම‍ගේ
සොහොයුර........!

දැන් අපි අපේ සිතියමේ
හරියටම ලකුණු කර ගනිමු
සූරාකෑම උපදින තැන.
උඹත් මමත්
ගොදුරු වන.......!

පැරණී කල්පනාවන්
කලපුව තුලම ගිල්වමු
අයුක්තියට කකියන ලේ
රස්නයට තියාගමු........!

සෙල්වම් ‍මගේ
සොහොයුර.....!

සූරාකෑම පැතිරී ඇත්තේ
මාලිමාවට අනුව නම් නොවේ

බොහෝ මෙවලම්
අපට මග වරද්දා දී තිබේ
ජීවිතය අපට
හොයාගන්නට වෙනවාමයි
දනින් නොවැටෙන තැනක.......!
යුක්තිය අපට
හොයාගන්නට වෙනවාමයි
වෙනස් විදියක නොසළකන තැනක
නිදහස අපට
හොයාගන්නට වෙනවාමයි
ඇගිලි නොගසන තැනක.......!

ඉතිං සෙල්වම්
අපේ සිතියමේ
ලකුණු කරගත් ඉලක්කයට
පහර දෙන්නට වෙනවා අපිට..........
එකම කඳවුරක සිට
විමුක්තිය දිනාගන්නට ......!

- දයා නෙත්තසිංහ

Tuesday, November 30, 2010

අළු සහ කඳුළු


අළු සහ කඳුළු

Friday, November 19, 2010

සම්ප්‍රාප්තිය





මහා වංසේ කබල්‍ ගාගෙන
නන්දි කඩාල් කළපුවේ
තලා පොඩිකර වසන්තය නැති
කැවුතු අවතැන් කඳවුරේ
අතුරු දන්වූ දූ පුතුන් වෙත
එරුණු කිරි උදුරා ලයේ
පිසු කිරිබත් කන්න අත්පා
දොවා පිරිතෙන් පැන්තියේ

දුප්පතුන් වඳකරන සැත්කම
අගනුවර හුණු අතුල්ලා
කොළඹ පැල්පත් දමා යන්නට
නීති දතමැද ගෙනල්ලා
මවන සුතරතුර යටදි නිවනට
ඇප්ලිකේෂන් දමල්ලා
දේශප්‍රේමී සූදු කෙළියට
ඔන්න පොරවල් ඇවිල්ලා


දයා නෙත්තසිංහ

රැවටීමේ පොරොන්දුව.





සමාදානය සහ යටහත් බව දේශනා කරන ආගම මිනිසුන්ට මරණින් පසු දිව්‍යමය ජීවිතයක් ලබා දීමට පොරොන්දු වෙමින් ඉතා වැදගත් සමාජමය ප්‍රශ්න වලින් වැඩකරන ජනතාව ඉවතට යොමුකරවයි. සූරා කන්නන්ට විරුද්ධව සහ සාමය ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය සඳහා කරන සටනින් ඈත් කරවයි.

වී. ජී. අපනාසියෙව්
මාක්ස්වාදි දර්ශනයේ මූලධර්ම

බිඳ වැටීමේ අනතුර




''බලන්න සහෝදරයා.........මට නම් හොඳටම කේන්තියි ලෝකයේ මොනවද වෙන්නේ අපි ‍දන්නේ නෑ. සමහර විට මිනිස්සු හොඳට නත්තල ගත කරනවා ඇති. මොනතරම් දේවල් අනෙක් මිනිස්සු කරනවා ඇතිද ඒත් අපි මෙහෙමයි නත්තල ගත කරන්නේ.......

ඒක ඔබේ ඇතුලාන්ත‍යටම වදිනවා ඔබ අධ්‍යාත්මිකව නිශ්චිත දේශපාලන මූලධර්මවල පිහිටා නොතිබුණොත් ඔබ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඔබ අධෛර්යට පත්වෙනවා. මේ සාම්ප්‍රධායික නිවාඩු කාල සහ සාම්ප්‍රධායික උත්සව ඒ තරමටම අපේ හිත්වලට කා වැදිලා තියෙන්නේ..........."

කන්දෙන් නැගුණු ගින්දර
සැන්ඩිනිස්ටා ගරිල්ලකුගේ කථාව
සිතිජය මාධ්‍ය සංසදය
(2004 සැප්තැම්බර්)

මීයා




මා වෙසෙන උඩු මහලේ
මීයෙකුගේ වාසය ඇත
උගේ කර කර හඬ ඇසු විට
පිළිම නෙලන්නෙකු සිහි වෙයි
රෑ තිස්සේ පිළිම නෙළන

ඌ තම සිය සොඳුර සමග
රැගුම් රඟන විට සතුටින්
සුළං වේගයෙන් දුවද්දී
තරඟ වැදුණු අසකු ලෙසින්
උඩු මහලේ දූවිලි රොඩු
ලියන කොළය මත වැටුනත්
මා ලියමින් සිටිනා විට
ඌ දන්නේ කෙසේ ද එය...........!

මීයන් සමගින් වසනා
මම උන්ගැන සිතමි මෙසේ
උන්හට හොඳ අහර සමඟ
සුව නිවසක් ලැබුනා වේ
සීලිම මත සිදුරක් කොට
ඉඳහිට ඒ තුලින් ඔවුන්
මදෙස එබී බැලුවා වේ.

යොසානෝ අකිකෝ (1874 - 1941)
ජපන් ජාතික කිවිඳිය.

ජනේලයෙන් එන ආලෝකය.




නමුත් නවීන ධනපති ක්‍රමයේ සෑම ජනේලයකින්ම සමාජවාදය අපවෙත බැලුම් හෙලාගෙන සිටියි. මෙම නවීන ධනපති ක්‍රමයේ පදනම අනුව ඉදිරි පියවරක් වන සෑම වැදගත් කටයුත්තක් මගින් සමාජවාදයේ කටු සටහන එක එල්ලේ සහ ප්‍රායෝගික වශයෙන් සළකුණු කරනු ලැබේ.

ලෙනින් -
තෝරාගත් කෘති
පස්වන වෙළුම
263 පිටුව

අවතාර පිළිබඳ ළමා කතන්දරවලට පිළිතුරු



''බලයට පත් වූ සිය ප්‍රතිවාදීන් විසින් කොමියුනිස්ට්වාදී යැයි හෙළා දකිනු නොලැබූ විපක්ෂයක් ඇත්තේ කොහේද තමන්ට වඩා ප්‍රගාමී විපක්ෂවලට විරුද්ධ මෙන්ම තමන්ගේ ප්‍රතිගාමී පස ම්තුරන්ට විරුද්ධවද කොමියුනිස්ට්වාදය නමැති හංවඩු ගසන ලද දෝෂාරෝපණය දමා නොගැසූ විපක්ෂයක් ඇත්තේ කොහිද?

කොමියුනිස්ට්වාදීන් ස්වකීය පක්ෂයෙහිම ප්‍රකාශනයක් මගින් මුළු මහත් ලෝකය ඉදිරියෙහි විවෘත ලෙස ස්වකීය අදහස් ද ස්වකීය අරමුණුද ස්වකීය ප්‍රවණතාවයන්ද ප්‍රකාශ කළ යුතු කොමියුනිස්ට් අවතාරය පිළිබඳ ළමා කතන්දරවලට පිළිතුරු සැපයිය යුතු කාලය පැමිණ ඇත."

කාල්මාක්ස්
පෙඩ්රික් එංගල්ස්
කොමියුනිස්ට් ප්‍රකාශනය.

Sunday, November 14, 2010

රැඳිවි‍යෝ



මහෞෂධ කුමරු මෙන්
සඳුන්ගැට මිටින්ගෙන
ඉපදුනේ නොමැති බව
කියන්නෙමි.....!

මත් කුඩුද මත් පැන්ද
ගිනි අවිද, කලුසල්ලි, කඩුකිනිසි
උදරයේවත් සඟවාන
නො ආ බව... දිව්රාම කියන්නෙමි.....!

ඔබේ අත රැඳුනු ගල්
දමා ගසන්නට පෙර
ඉඩදෙනවාද
මට යමක් කියන්නට......!

හිඟාකෑම වෙනුවෙන්
සොරකම් කලේ නම් අපි
ගොඩගසා ගැනීම වෙනුවෙන්
සොරකම් කරන්නේ කවුරුන්ද....?

නීතිගත කරන ලද
හොරබඩු තිබෙන්නේ
කා ළඟද....?

ජනවර්ජනලා වන්නෙමු
මහ උළුගෙදර I.R.C
චෝදනා තිබේ අපට
ලිපිගොනු පුරවා
බරපතල වැඩ ඇතිව
එල්ලා මරන්නට......!

අහේතු අප්‍රත්‍යවාදීව
පුබ්බේකත හෝතු වාදීව
අපරාධ කරුවන් නොවූ බව
ඉඳුරාම කිව හැකිය.

අසන්නට ඉඩදෙන්න
අවසන්ම පැනයත්......
ගල්දමා ගසන්නට පෙර
පවිකාරයාට.....!

පවට එරෙහිව
එක ගලක්වත්
ගැසුවාද ? ඔබ....!

- සැකකාරයා

සූදූ වීදිය



සේද මාවත දිගේ එන්න
සූදු වීදියට
ජැක්පොට්, කැසිනෝ, රේස් ඔට්ටු
සඳහාම නිදහස
දොර දොර නැගේ
මදහස..........!

මහානායක හිමිවරුනි
ජයපිරිත ජපකර
ඇල්කොහොල් සමග මුසුකර
බෝතල් කර දිය හැකිය
සූදු වීදියේ තැබෑරුම්වල.....!

කලා - කරු වෙනි ඉතිං
මැදගෙන වරෙල්ලා
දත කට
අඩියක් ගහන්නට
ස්‍ත්‍රි නිමිත්තක
සුව පහස විදින්නට
මැතිවරණ සමයේදී විකිණූ
සංවේදී ඉඳුරන්ම
පිනවන්ට.......!

බුද්ධිමතුනි
දුරාචාරය සදාචාරයවන බව
අසිරිමත් ලෙස
ජනතාව දැනුවත් කරපල්ලා
අලි ගිල්ල ජූල්
සාලය මැදට හලන
රජයේ මාධ්‍ය වලින්ම.....!

වනිතාවනි
ලොව පැරණි වෘත්තියට
අයදුම් පතක් දෙන්න
ආර්යාවට
සූදු වීදියේ සිට
නිමිති පා
මොනරු අහුලන්නට........!

කොල්ලනි වරෙල්ලා
රැකියා විරහිත
සූදු වීදියේ
ටිකට් කඩන්නට.....!

සරසවි සිසුනි
වලපල්ලට ගියාදෙං
නිදහස් අද්දියාපනේ
උපාධියටත් වඩා
වටිනවා මේ රටේ
කුපාඩිකම..........!

සපෝරුයි දැන් ඉතිං
ආසියාශ්චර්යය.........!
පක්ෂියා ඉගිලී
බූරුවා රජ වී.

සැකකාරයා

Thursday, November 4, 2010

අතුර සහ අනතුර




පොල් කෙඳිම
එකතු වී
තනාදී තිබේ
මල් තලන්නට
යන මගත්.....!

- දයා නෙත්තසිංහ -

නොකළ - කළයුතු.......



පාලකයෝ
සොයන විට
ආලවකයෝ
හමුවන........
මුළු මහත් ක්‍රමයම
වෙනස්කල යුතුව ඇත.

- සැකකාරයා -

දැති සහ රෝද



නිර්ධන පංති සාහිත්‍ය හා කලාව මුළු නිර්ධන පංති විප්ලවවාදී ව්‍යායාමයෙන් කොටසක් වේ. ඒවා ලෙනින් කී පරිදි මුළු විප්ලවවාදී යන්ත්‍රයේ දැති සහ ‍රෝදය.

මාවෝ සේතුං
සාහිත්යත හා කලාව ගැන.

වැටුප



වැටුප වූ කලී කම්කරුවා විසින් නිපදවන ලද හුවමාරු භාණ්ඩයේ, ඔහුගේ කොටස නොවේ. වැටුප යනු ඵලදායී ශ්‍රම ශක්තියෙන් නියමිත ප්‍රමාණයක් ධනපතීයා විසින් තමාට මිලදී ගන්නා දැනටමත් පවතින හුවමාරු භාණ්ඩවල කොටසක් වේ.

- කාල් මාක්ස් -

සටනින් තොර ජයක් නැත.



විවිධ රටවලදී එය (විප්ලවය) විවිධාකාරයෙන් වර්ධනය වෙයි. එය නිතරම දිගු කලක් තිස්සේ දුෂ්කරතාවන්ගෙන් යුතුව ගමන් කරයි. ධනපතීන් තමන්ගේ අයිතින් එක්වරම අත්හරිතියි සිතන සමාජවාදියා නරකය. නැත. ලෝකය විසින් තවමත් එවැනි කරුණාබරිත ධනපතීන් බිහිකර නැත. සමාජවාදය වර්ධනය විය හැක්කේ ධනවාදය සමග කරන අරගලයෙන් පමණි. සටනින් තොරව යටත් වූ පාලක පංතියක් ලොව කවරදාවත් පැවතී නොමැත.
ලෙනින්
1918 දෙසැ. 14 දින
ප්‍රියෙස්නයා දිස්ත්‍රික්කයේ
කම්කරු සමුළුවකදී කළ කථාවෙන්,

වේල් රතය



නිල්වන් අහසට
උස් වී සිටිනා
උත්සව රතයෙන්
රැස්කඳ විහි‍දෙයි
තද තෙද බල මහිමෙන් යුත් වූ .......
වියකර දරමින් පහලින්
සිටින ගොන්නු හෙම්බත් වී
අන්තිමටම හෙම්බත් වී
කට දෙකොනින් පෙණ වගුරති
හති ඇර ඇර.........!
හති ඇර ඇර........!
උන් ඇදගෙන
යන හින්දා
උත්සව රිය
ගමන් කරයි
ගොනුන්ට ඉහලින් රතයේ
උඩට නැගුනු මුඳුන් පෙළේ
අලංකාර ලෙස සැරසූ
ලී අස්සයෝ
ආඩම්බර ලෙස පනිනා
ආකාරයකින් සිටිති...!

වියකර දරමින් පහළින්
අන්තිමට හෙම්බත් වී
ඉන්නා වූ මහලු ගොනුන්
බොහෝ අයට අමතක වී....



ආර්. මුරුගයියන් (ශ්රි. ලාංකික)
පරිවර්තන - කරුණාරත්න අමරසිංහ

Thursday, October 28, 2010

යුධ හමුදාව සහ පොලිසිය එක්ව ගාලු කොටුවේ ඇසැබි ලෙස හැසිරෙන්නේ යැයි පෙම්වතුන් අත්අඩංගුවට ගනී.


ගාලු කොටුව දැන් පෙම්වතුන්ට තහනම්ය...! (පුවතක්)

''ශුක්‍ර මෙහෙයුම''

කුඩේ යට ඉඳගෙන
අම්මපා ඇත්ත
කුමන්ත්‍රණ නොක‍ළෙමු
ප්‍රභූ ඝාතන වලට...........!

පොලිසිය හමුදාව
සෝදිසි කලාට
සාක්කුවක වත්
තිබුණා ද බර අවියක්
උපත් පාලන කොපුවක්...........!

ඇවිත් ඉඳගතිමු කොටුවේ ගල්බැම්මේ
කුඩේ දිගැර සැඩබව මැකුවෙමු අව්වේ
මිමිනූ සිනිදු හාදුවකද කැත පෙනුනේ
හිටුවා පස්ගසන තරමට මද කිපුනේ....?

උක්ඳඩු දුනු නොවේ රයිපල් අතගත්තු
හමුදා පොලිස් බලඇණි දළ මැද ගත්තු
ඇණ ඇණ විමසමිනි ආගිය තැන තන්තූ
දඩුවම් කරනු යුතුවෙද මේ ලෙස අමුතූ...?

උරුමේ රු‍වට ජඩ බලුකම් නොකෙරුවෙමු
රෙදිගලවා තිරිහන්කම නොපෑවෙමු
අත අල්ලා සිපගත් බව කියන්නෙමූ
රෙදි ගලවනු එපා දෙපතුල වදින්නෙමූ.....!

කුඩේ යට පියුම දිගහැර දෙසිත්වල
හීන් ඉකිබිඳුම් මදහස් පවන්සල
කොටුවේ සදාචාරය රුවට ඔපකල
මහත්වරුණි "කැත" ඇත තොපේ හිත්වල....!

මහත්වරුණි අප දැක ධාතු පහඋනු
අපේ ඇස්වලින් පිටඋනේ කඳුලු උනු උනු
හාදුව, කුඩය, බෑගය ද නඩු බඩු උනු
සුදණෙනි බළනු නිදහස රටක වක උනු

- උකුස්සා -

Monday, October 25, 2010

අන්ත්‍රාවයි



උතුමාණෙනි ඔබ
භූපතිය
උදක පතීය
තරුපතීය
පාතාල පතීය
සියල්ලට අධිපති බැවින් ඔබ
ඒකාධිපතිය......!
සර්ව ඥානය
සර්ව තෝභද්‍රය
සර්ව බලධාරීය
උතුමාණෙනි....! එහෙයින් ඔබ
සර්ව භක්ෂකය.....!
එනිසාම ඔබට
දැඩි ආරක්ෂාවක් අවශ්‍යය.....!
පොලිසිය, උසාවි, හිරගෙවල්
නීතිපොත්, කුරාණය, බයිබලය,
ධම්මපදය...!
කුමන වට්ටෝරුවකින් උනත්
ඔබ කැමති තැනකින්
ඔබේ ශ්‍රී මුඛයෙන්
දෙසන ධර්මය
මර්ධනය........!"
ඔබේ සුව නින්දට
මුද්‍රිත අකුරු තීන්ත කඩදාසි
තහනම් කරන්න...!
අච්චුකන්තෝරු සීල්කර තබන්න.
සත්‍ය සිරකර
මූඩිය තදකරගෙන අල්ලා ගෙන සිටින්න.....!
එහෙත් මම කියමි.....!
මහජන කැළඹීමකට
එක අඟුරු කැබැල්ලක් සෑහේ........!

ජනතා උද්ඝෝෂණ තහනම් කරන්න
ජනතාවගේ මුණු මුණු ගෑම
බර අවි වලටත් වඩා අනතුරුදායකය
ඊළග සටන් පාඨ
වෙඩි උණ්ඩ පවා නැවත හරවා යවයි.....!
ඔබට කියමි
රුධිරය වඩාත් සංවිධානාත්මකව ඇවිලේ....!


නැතිවෙන්න දෙයක් නැති
ජිවිතය විතරක් අයිති
නුඹලාට මම කියමි....
කුහුඹුවනි....!
අර්බුදයේ මුල් හේතුව
සොයා ගත යුතුය තෙපි....!
කරුණාකර ඉතිහා‍සයෙන් මම අසන
ප්‍රශ්න වලට උත්තර දෙන්න.....?
ඇඩලොප් හිට්ලර් පොළොව යට
බිං ගෙයක දිවිනසාගත්තේ මන්ද......?
ඉඩි අමින් රහ‍සේම ටැන්සානියාවට පලාගියේ මන්ද...?
මුසෝලනිගේ මලසිරුරටත් මිනිසුන්
පහර දුන්නේ ඇයිද....?
සුවිසල් ආයුධ ගබඩා
ලක්ෂ සංඛ්‍යාත කුලී හමුදා
නොසිට ඔවුන්ගේ තනියට
වාෂ්ප වීද.....?
කුහුඹුවනි!
දුෂ්කරම අවස්ථාවන්හිදී
සිරුරේ බරමෙන් දස ගුණයක් ධෛර්ය අවශ්‍යය........
නුඹේ පරපුරට අහිමි කළ දවස් මිස
අහිමි වීමට දෙයක් නැත නුඹට
දිනාගත යුතු මිස.....!
මේ මජර ක්‍රමයෙහිම
මිනීවල කපන උන්
උන්උන්ම තනාදෙති.....!


ඉතිහාසයේ දැති රෝද
ලේවැල්වලම පැටලුනි......!
මක්නිසාද යත්,
මිනිස් ඉතිහාසයට
යුක්ති සහගතම ජීවත් වීමක්
අවශ්‍ය වූ බැවිනි.....
උතුමාණෙනි...!
ඒ ගමන නවතනු නොහැකිය.
නැවතත් මතක්කර දෙමි......!
රුධිරය ඉන්ධන වලට වඩා
සංවිධානාත්මකව ඇවිලේ.....!

- සැකකාරයා -

Thursday, October 21, 2010

රාජ්යස සේවය පිණිසයි.



දෙනියාය මස්කෙළිය
හැටන් සහ දික්ඔයත්
ත්‍රස්තවාදීන් සිටිති...!
සුපිරි පහසුකම් සහිත
බංකර තිබේ එහි
සන්නද්ධ වී සිටිති
උන්
රොටී පුච්චන 'කබල'කින්
''මුරු‍ගේසු'' තංගම්මාට කියපන්
රොටී පුච්චනවා නොවෙයි තවත්
වෙඩි තියන්නත් බැරි නැහැ
දේශප්‍රේමි ඇමතිවරු...!

පාන්පිටිවල ඔතා
ගැඹුරු තෙලේ
බදින්නත් බැරි නැහැ උඹ
උන්ගේ කටගැස්මට...!
මුරුගේසු
බාරදීපන් 'කබල' ආණ්ඩුවට
කබල බර අවියක් විය හැකිය...
දෙන්න එපා පොඩි උන්ට
මුරුක්කු
ඇමතිවරු දැක්කොත්
කපාවී දේශද්‍රෝහී පැටවුන්ගේ
දිව....
සාම්බාරු හොදි
උළුඳු වඩ
මසල වඩ
තෝසේ සහ ඉට්ලි
පෝංගල්...පූරී - ලඩ්ඩු
චපාති...
දේශ‍ද්‍රෝහී ආහාර විය හැකිය....!
පිසීමත් තහනම් කල හැකිය.


මුරුගේසු...!
හැලප, කුරක්කන් තලප
කැවුම් කිරිබත්, කිරි හොදි
දේශප්‍රේමී ආහාර වන්නේය
නිතර නිතර කෑමට ගනිං.........!

බත ඉදෙව්වට කමක් නෑ
වෙලාවට වරෙන් වැඩට
පාන් හෙම කෑවොත්
වාමාරනවා ගෙනිහිං
හතරවෙනි තට්ටුවට...!
ජීවන වියදමට සරිලන
වැටුප් ඉල්ලනවා හෙම නෙවෙයි
බැරිවෙලාවත්
උඹ එතකොට
වැටුප් ත්‍රස්තවාදියෙකි...!
බඩුමිල ගැන
කට අරිනු තහනම්ය
උඹ එතකොට
බඩුමිල ත්‍රස්තවාදියෙකි...
ප්‍රජාතන්ත්‍රවාදය
නිදහස, සමානත්මතාවය
මේ මොකක් ගැන උනත්
කට අරින්නේ දේශද්‍රෝහීන්ය.....!
ත්‍රස්තවාදීන්ය...!
කඩාකප්පල්කාරීන්ය....!
''මුරුගේසු''
රාජ්‍ය සේවය පිණිස
කැඳ බිව්වාට කමක්නෑ
බෙට්ට ඕනලු කෙලින්
ආණ්ඩුවට
පෙන්නන්න
ලෝකෙට...

උකුස්සා